Warning: Array to string conversion in /home/ruraxpob/bigsmilevoyages.com/wp-content/plugins/elementor/includes/utils.php on line 506
preloader-type="icon" preloader-icon="Array svg" class="e-page-transition--entering" exclude="^https\:\/\/bigsmilevoyages\.com\/wp\-admin\/">

යුද්ධයේ නිහඬ වින්දිතයන්

අමා එච්. වන්නිආරච්චි විසිනි

යුද්ධ විනාශකාරී ප්‍රතිඵල ගෙන එයි. යුද්ධය විසින් සිය ගණනක් ජීවිත හා දේපළ විනාශ කරනු ලබයි. සමහර පැරණි ශිෂ්ටාචාර මිහිතලයෙන් තුරන් වීමට හේතුවක් වන්නේද යුධ කලකෝලාහලය.
යුද්ධ නිසා මානව වර්ගයාගේ සංස්කෘතික උරුමයන් දරුණු ලෙස විනාශ වී ඇත. යුද්ධයක් අවසන් වූ පසුවත් උරුමයට සිදුවන හානිය, එය වැළැක්වීමට පියවර නොගන්නේ නම් දිගටම පවතිනු ඇත.

දශක තුනක් ත්‍රස්තවාදය නිසා ලේ වැකි යුද්ධයකින් පීඩා විඳි රටක් වන ශ්‍රී ලංකාවට, යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාක ගැන අලුතෙන්ම පැහැදිලි කිරීමක් අවැසි නොවේ. මේ අවාසනාවන්ත දශක තුනක යුද්ධය සිය ගණනක් මිනිසුන් මරා දැමූ අතර තවත් බොහෝ අංශවලින් රට විනාශ කළේය.
යුද්ධයෙන් පීඩාවට පත් වූ බොහෝ දේ අතර අපගේ උරුමය ප්‍රමුඛ වේ.

සෑම විටකදීම යුද්ධයකදී සාමාන්‍යයෙන් සිදුවනවාක් මෙන් අපේ උරුමය ගැන අවධානය යොමු කිරීමට යුධ සමයේදී අපට කාලය, ශක්තිය හා සම්පත් පවතින්නේ නැත. එබැවින් සාමකාමී කාලවලදී උරුමය කෙරෙහි පූර්වාරක්ෂාව සලසා ගත යුතු බව අප තේරුම් ගත යුතුය. යුද්ධයක් පවතිද්දී අපේ උරුමයන් ආරක්ෂා කර ගැනීම ප්‍රයෝගික නොවන බවත්, කිසිවිටෙකත් ප්‍රමුඛතාවයක් නොවන බවත් අප තේරුම් ගත යුතුය. එබැවින් මේ පිළිබඳව සොයා බලා අපේ උරුමයන් කල්තියා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ උරුමය සහ යුද්ධය

ශ්‍රී ලංකාවේ දශක තුනක යුද්ධයේදී අපගේ බොහෝ උරුම ස්ථාන සහ ස්මාරක හානි වීම්, විනාශ වීම්, සහ නොසලකා හැරීම්වලට ලක් විය. අවාසනාවකට මෙන්, යුද්ධයේදී විනාශ වූ හෝ හානියට ලක් වූ උරුම ස්ථාන සහ ස්මාරක ප්‍රමාණය පිළිබඳව අපට තවමත් අදහසක් නැත. මෙම හානි අතුරෙන් බරපතළම හානිය ලෙසට සැලකිය හැක්කේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට එල්ටීටීඊ සංවිධානය විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමයි.

අද වන විටත් මෙම ලේ වැකි යුද්ධයේ දෝංකාරය අපගේ උරුමයන්, විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල උරුමයන් අතර හොල්මන් කරයි. යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල ඇති පැරණි හින්දු කෝවිල්, කතෝලික පල්ලි, ක්‍රිස්තියානි පල්ලි සහ මුස්ලිම් පල්ලි ගැන ද අප අදහස් කරන්නේ අප රටේ උරුමය ලෙසට මේ හැමදෙයක්ම අයත් වන නිසාය. මේ රට තුළ පවතින සියුලු ආගම් සහ ජාතින්වලට අයත් සංස්කෘතික උරුමයන් පොදුවේ ‘අපගේ උරුමය’ ලෙස අප සලකන බව අවධාරණය කළ යුතුය. අපි ‘අපේ උරුමය’ යනුවෙන් කියන විට එහි තේරුම ‘සාමූහිකව’ මිස එක් ආගමකට හෝ ජාතියකට අයත් උරුම ස්ථාන සහ ස්මාරක නොවේ. කෙසේ වෙතත්, අප කැමති වුවත් නැතත්, ශ්‍රී ලංකාවේ උරුමයේ බහුතරය බෞද්ධ වන්නේය.

පසුගිය වසරේ මුලතිව් කුරුන්දිමලේ ඉපැරිණි ස්තූපයේ තිබී සොයාගත් යූප ගලක් සම්බන්ධයෙන් මුලතිව්හි සිංහල සහ දෙමළ ජනතාව අතර සුළු මතභේදයක් ඇති වූ බව අපි දුටුවෙමු. තවමත් විට ශ්‍රී ලංකාවේ උතුරු සහ නැඟෙනහිර පළාත්වල උරුම ස්ථාන විනාශ කිරීම පිළිබඳ සිදුවීම් රැසක් වාර්තා වේ. මේ සියල්ල යුද්ධයේ ප්‍රතිවිපාකය. ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ඇති කරනවා වෙනුවට අපේ ඇතැම් දේශපාලඥයන් සහ ජාත්යන්තර ආයතන පවා උත්සාහ කරන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමටය.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කොමසාරිස් වාර්තාවේ සඳහන් ගැටළු සහගත සහ පරස්පර විරෝධී ප්‍රකාශය

‘ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්රවර්ධනය කිරීම’ යන මැයෙන් පසුගියදා නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාර්ෂික වාර්තාවේ බෙහෙවින්ම ප්‍රශ්නකාරී කරුණු ඉරිදිපත් කෙරේ.

ඒවා පහත පරිදිය.

විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදාව විසින් අල්ලාගෙන සිටින ඉඩම් නිදහස් කිරීම සාමය ගොඩනැගීමේ සහ සංහිඳියාවේ වැදගත් අංගයක් වී ඇත. 2009 සිට 2021 ඔක්තෝබර් 31 දක්වා සන්නද්ධ හමුදාවන් විසින් නිදහස් කරන ලද මුළු පුද්ගලික ඉඩම් ප්රමාණය රජය විසින් වාර්තා කරයි. අක්කර 2,601,796ක් හෙවත් සියයට 92.42ක් වන අතර, තවත් අක්කර 53ක් (සියයට 0.19ක්) මුදා හැරීමට යෝජිතය. කෙසේ වෙතත්, බෞද්ධ උරුමයන් සංරක්ෂණය හෝ වන සංරක්ෂණය සම්බන්ධයෙන් අනුගමනය කරන අලුත් ප්රවණතාවක් නිසා සුළුතර ජනගහණයන් තුළ ආතතීන් නිර්මාණය කර ඇත, විශේෂයෙන් නැගෙනහිර පළාතේ දක්නට ලැබෙන ජනගහණ සහ උරුමය සම්බන්ධ විවිධත්වය ගැන සැලකිල්ලට ගනිමින් මේ කාරණාව ඉස්මතු වී ඇත.2020 ජූනි මාසයේ සිට ආරක්ෂක ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් නැගෙනහිර පළාතේ පුරාවිද්යා උරුම කළමනාකරණය සඳහා වූ කාර්ය සාධක බලකායක් පුරාවිද්යා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, පොලිසිය, හමුදා සහ බෞද්ධ පූජකවරුන් සමඟ පුරාවිද්යා ස්මාරක හඳුනාගැනීමට සහ බෞද්ධ සිද්ධස්ථාන අලුත්වැඩියා කිරීමට හෝ ඉදිකිරීමට කටයුතු කරයි. පාරිසරික හා වන සංරක්ෂණය යන පදනම මත රජය මෙම ප්රදේශවල ඉඩම් පරිහරණයට ද සීමා පනවා ඇත. කලාපයේ ජනවිකාස භූ දර්ශනය වෙනස් කිරීමට මෙම වැඩසටහන භාවිතා කරනු ඇතැයි සුළුතර ප්රජාවන් බිය වෙති. මෙය ජීවනෝපායන් කෙරෙහි බලපෑ හැකි අතර නව ගැටුම් ඇතිවීමේ විභවය වැඩි කළ හැකිය.OHCHR විසින් 2021 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ රාජ්ය ක්රියාකාරීන් සහ සුළු ජාතීන් අතර ඉඩම් සම්බන්ධයෙන් එවැනි ආරවුල් 45ක් වාර්තා කර ඇත. නිදසුනක් ලෙස, ත්රිකුණාමලය දිස්ත්රික්කයේ කුච්චවේලි ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථාන 11 ක අක්කර 340.33 ක පමණ ඉඩම් බෞද්ධ පන්සල් / භාරකරුවන් හත් දෙනෙකුට වසර 30ක කාලසීමාවක් සඳහා බදු දී ඇත. 2020 සැප්තැම්බර් මාසයේදී දෙමළ ගොවීන් විසින් හිමිකම් කියන ත්රිකුණාමලය දිස්ත්රික්කයේ තෙන්නමරාවාඩි ප්රදේශයේ අක්කර 358ක් පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්යා ස්ථාන ලෙස හඳුනා ගැනීමෙන් පසු පවරා ගත් බව මාධ්ය වාර්තා කළේය.

රජය විසින් සිදු කරනු ලබන පුරාවිද්‍යා ස්මාරක හඳුනා ගැනීම, බෞද්ධ ස්ථාන පිළිසකර කිරීම හෝ ඉදිකිරීමට පහසුකම් සැලසීම වැනි පුරාවිද්‍යා කටයුතු රටතුළ සිදුවෙමින් පවතින බැවින් එම ප්‍රදේශවල සුළුතර ප්‍රජාවන්ට මෙම වැඩසටහන බියක් ගෙනදෙන බැවින් ජීවනෝපාය මාර්ගවලට බලපෑම් එල්ල විය හැකි අතර නව ගැටුම් ඇතිවීමේ හැකියාව වැඩි වේ.
ත්‍රිකුණාමලය දිස්ත්රික්කයේ ස්ථාන පුරාවිද්‍යා ස්ථාන ලෙස හඳුනාගැනීමෙන් පසු එම ඉඩම් අක්කර 358ක් පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් පවරාගෙන ඇති බවත්, එම ස්ථානවලින් සමහරක් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ලබාදීම පිළිබඳව ඔවුන් එකඟ නොවන බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

පිටු 16කින් සමන්විත මෙම වාර්තාවේ ප්‍රකාශය ඉතා ගැටළු සහගත වන්නේ එය උරුමය යන සංකල්පය පැහැදිලිව අවබෝධ කර නොගැනීම සහ ඉහත සඳහන් ප්‍රකාශයන් වෛරය පැතිරවීමට සහ හිතාමතාම රට තුළ ජිවත්වන ප්‍රජාවන් කුපිත කිරීමට බව පැහැදිලිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ‘උරුමය’ මෙන්ම ‘සාමය සහ සංහිඳියාව’ පිළිබඳව සැලකිය යුතු තරමේ දුර්වල අවබෝධයක් ලබා ඇති බව මින් පෙනී යයි.

රටක පුරාවිද්‍යා කටයුතු ප්‍රජාවන් අතර ආරවුලක් ඇති කරන්නේ කෙසේද? එක් අතකින් යුනෙස්කෝව ලොව පුරා ඇති උරුමයන් ආරක්ෂා කිරීමට විශාල අවධානයක් යොමු කරන අතර අනෙක් අතට ශ්‍රී ලංකාවේ උරුමයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවැනි අමුතු ප්‍රකාශයන් සිදු කරයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රකාශයෙන් හරියටම ඇඟවෙන්නේ කුමක්ද? ඔවුන් අදහස් කරන්නේ පු.වි.දෙ. විසින් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සිදුනොකොට එම ස්ථාන සහ ස්මාරක තවදුරටත් විනාශ කිරීමට ඉඩ දිය යුතු බවද? (මේ පිලිබඳ වැඩිදුර කරුණු දැක්වීමක් ඉදිරියට බලාපොරොත්තු වන්න).

යුද්ධ වලදී උරුමය ඉලක්කයක් කරන්නේ ඇයි?

ලෝකයේ බොහෝ වටිනා උරුම ස්ථාන සහ ස්මාරක යුද්ධ නිසා විනාශ වී ඇති බව අපි දනිමු. 2001 දී ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදුපිළිම තලේබාන් සංවිධානය විසින් විනාශ කරන අයුරු මුළු ලෝකයම කඳුළු සලමින් අසරණව බලා සිටියේය. යුද්ධයේදී කාබුල් කෞතුකාගාරය දරුණු ලෙස කොල්ලකනු ලැබීය. ඉරාකයේ ජාතික කෞතුකාගාරය කොල්ලකෑම සහ ඉරාකයේ පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම ආපසු හැරවිය නොහැකි හානියන් ය.

1990 ගණන්වල බොස්නියා-හර්සගොවිනා යුද්ධයේදී, කතෝලික ක්‍රොඒෂියානුවන්ගේ සහ බොස්නියානු කතෝලිකයන්ගේ උරුමයට විශාල හානියක් සිදු වූ අතර, මුස්ලිම් පල්ලි, පල්ලි, ජාතික පුස්තකාලය සහ මොස්ටාර් නගරය හිතාමතාම විනාශ කරන ලද්දේ එහි ජීවත් වූ මිනිසුන්ගේ සියලු හෝඩුවාවන් මිහිපිටින් අතුගා දැමීම සඳහා ය. සිරියාවේ, විශේෂයෙන්ම පුරාණ ඇලෙප්පෝ නගරයේ හදවතෙහි පිහිටි බලකොටුව (මෙය ලෝක උරුම ස්ථානයකි) බරපතල තර්ජනයකට මුහුණ දී සිටී.

මෙවන් උදාහරණ වලින් හෙළි වන වැදගත්ම කාරණය නම්, සෑම යුද්ධයකදීම උරුමය විනාශ වීමේ තර්ජනයට ලක් වන බවයි. කෞතුකාගාර කොල්ලකෑමට ලක් වේ. ස්ථාන සහ ස්මාරක පෘථිවිතලයෙන් අතුගා අතුගා දමනු ලැබේ.

නමුත් මිනිසුන් මෙසේ අජීවී ස්මාරකවලට හානි කරන්නේ ඇයි?

උරුමය යනු අතීතය පිළිබද ඇති භෞතික සාක්ෂිය. අප කැමති වුවත් නැතත් ඒවා අතීතය පිළිබඳ භෞතික ස්මරණයන්ය. ඔවුන් මිනිසුන්, ජාතීන් සහ ආගම් පිළිබඳ කථා වර්තමානයේ ජිවත්වන අපට පවසයි. ඒ නිසා ඒවාට අනන්‍යතාවයක් ඇත. යුද්ධයේදී ඒවා ඉලක්ක කර ගැනීමට හේතුව මෙම අනන්‍යතාවයයි. මෙම ස්මාරක දරා සිටින ආගමික හෝ ජාතික අනන්‍යතාවයට මිනිසුන් පහර දෙන්නේය.

එසේම ඒවායේ පෞරාණිකත්වය, භෞතික වටිනාකම, සෞන්දර්යාත්මක වටිනාකම යනාදිය නිසා ඉහළ මිලක් ඇති බැවින් කොල්ලකෑම්වලට ලක් වේ (මෙම වටිනාකම සෑම විටම මූල්‍යමය වටිනකමක්ම වන්නේ නැත). මේවා හිතාමතාම උරුමය කෙරෙහි එල්ල කරනු ලබන ප්‍රහාරයන්ය.

බෝම්බ හෙලීම සහ අනෙකුත් විනාශකාරී ක්‍රියාකාරකම් ද උරුමයට හානි කරයි.

මෙවන් අර්බුධ වලට ඇති විසඳුම වන්නේ ජාතික හෝ ආගමික අනන්‍යතාවය උරුමයෙන් ඉවත් කිරීම නොවේ. එසේම, ඉහත සඳහන් කළ එක්සත් ජාතීන්ගේ වාර්තාව යෝජනා කරන පරිදි, ප්‍රජාවන් තෘප්තිමත් කිරීම සඳහා උරුමයන් නොසලකා හැරීම හෝ ඉවත් කිරීම හෝ නොකළ යුතුය. ජාතිය හෝ ආගම කුමක් වුවත් උරුමය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සහ සමස්ත මානව වර්ගයාගේ දායාදයේ කොටසක් බව වටහා ගැනීම වැදගත්ය. ඇෆ්ගනිස්ථානයේ, පලස්තීනයේ හෝ සිරියාවේ හෝ යුක්‍රේනයේ උරුමයන් හානි වීම ගැන ලෝකය සැලකිලිමත් වන්නේ එබැවිනි; මක්නිසාදයත් අපි අපව මනුෂ්‍ය වර්ගයාගේ කොටසක් ලෙස සලකන බැවිනි. ලෝකයේ කොතැනක හෝ ඇති උරුමයන් විනාශ වීම අප සැමට බලපෑමක් ඇති කරයි.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන පුරාවිද්‍යා කැණීමකින් හෙළි වූයේ පොළොන්නරුවේ අංක 1 සිව දේවාලය කඩා බිඳ දැමූ බෞද්ධ ප්‍රතිමා ගෘහයක් මත ඉදිකර ඇති බවයි. මෙය ඉතිහාසගත සත්‍ය වන අතර මෙම හෙළිදරව්වෙන් සිත් රිදවා ගැනීමට හෝ මේ ඉතිහාසගත සත්‍යයට වෛර කිරීමට හෝ අවශ්‍ය නැත. ඒ වගේම මෙම සොයාගැනීම නූතන භාෂාවෙන් අර්ථකථනය කර වෛරය හෝ ජාතිවාදය පතුරවන්නද අවැසි නැත. ශ්‍රී ලාංකාවේ ඉතිහාසයේ එක් අවස්ථාවකදී චෝළයන් විසින් අපව ආක්‍රමණය කරන ලද අතර ඔවුන් බෞද්ධ ආරාම (සියල්ලම නොවේ, සමහරක් පමණක්) කඩා දමා ඒවා මත හින්දු කෝවිල් නැවත ගොඩනඟා ඇත. අපට වෙනස් කළ නොහැකි සත්‍ය මෙයයි. මෙම පුරාවිද්‍යාත්මක හෙළිදරව්වෙන් අදහස් කරන්නේ ශිව දේවාලය ඉවත් කර බෞද්ධ ප්‍රතිමා ගෘහය සංරක්ෂණය කළ යුතු බව නොවේ. ඒ වෙනුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදු කරන්නේ ශිව දේවාලය ‘අපේ උරුමයේ’ කොටසක් ලෙස සලකන බැවින් එය රැක බලා ගැනීමයි. අද අප සතුව ඇති සමහර යටත් විජිත යුගයේ ගොඩනැගිලි බෞද්ධ විහාරස්ථාන මත ඉදිකර ඇත; අප කරන්නේ ඒවා පවතින ආකාරයටම ආරක්ෂා කිරීමයි.

පූර්වාරක්ෂාව සැලසීම

නුදුරු අනාගතයේ යුද්ධයක් ඇති වනු ඇතැයි අපි කියන්නට අදහස් නොකරමු. නමුත් අපි යුද්ධයක් අත්විඳි රටක් වන අතර තවමත් වරදවා වටහාගැනීමේ සහ වෛරයේ ගින්න සම්පූර්ණයෙන්ම නිවී ගොස් නොමැත. එසේම ශ්‍රී ලංකාවෙන් පිටත ලෝකය යුද්ධයෙන් හා ගැටුම්වලින් ද ඇවිලෙමින් පවතී.

එබැවින්, සූදානම සහ පූර්වාරක්ෂාව අප සිතා බැලිය යුතු දෙයකි. යුද්ධයක් ඇති වුණොත් අපේ උරුමය රැකගන්න අපි සූදානම්ද? ඒ සඳහා අපගේ ශක්‍යතාවය කෙතරම්ද?

එවැනි අවස්ථාවක අපට මුහුණ දීමට සිදු වන අභියෝග මොනවාද යන්න තේරුම් ගැනීම වැදගත්ය. අපට සියලුම ස්ථාන සහ ස්මාරක ආරක්ෂා කළ නොහැකි බව තේරුම් ගත හැකි නමුත් අපට අවම වශයෙන් ඒවායින් කිහිපයක්වත් (වඩාත්ම වටිනා ඒවා කිහිපයක් හෝ) ආරක්ෂා කළ හැකිය. ලෝකයේ සමහර කෞතුකාගාරවල වැදගත්ම කෞතුක වස්තු ආරක්ෂා කිරීම සඳහා භූගත ගබඩා කාමර සහ ආරක්ෂිත ලොකර් ඇත. මෙම භූගත ගබඩා කාමර බෝම්බ හෙළීම් වලන් උරුමයන් ආරක්ෂිතව තබා ගැනීමට කදිමය.

මෙවැනි විනාශකාරී තත්ත්වයකදී ප්‍රමුඛත්වය දිය යුතු වටිනාම දේ ලෙස අප සලකන කෞතුක භාණ්ඩ ලැයිස්තුවක් අප සතුව තිබිය යුතුය. කෞතුක භාණ්ඩ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට අපට පහසුකම් තිබේද?

එවැනි හදිසි අවස්ථාවකදී උරුමයන් ආරක්ෂා කිරීම සඳහා අපට වියදම් කළ හැකි මූල්ය ප්‍රතිපාදන තිබේද?

අපි නැවත සිතා බැලිය යුතුයි,

ගැටුමකදී අපේ උරුමයන් ආරක්ෂා කිරීමට අපේ උරුම කළමනාකරණ අංශය සූදානම්ද?මෙවැනි හදිසි අවස්ථාවකදී අපේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීමට යාන්ත්‍රණයක් අපට තිබේද? (ප්‍රතිපත්ති, නෛතික සහ මුල්‍යමය)

එබැවින් එවැනි තත්ත්වයකදී උරුමයන් ආරක්ෂා කර ගැනීමටත්, විනාශකාරී බලපෑම් අවම කිරීම සඳහාත් නීතිමය ආරක්ෂණ, වැළැක්වීමේ ප්‍රතිපත්ති සහ ආරක්ෂක පියවරයන් සෙවිය යුතුය.

අපට අවශ්‍ය වන්නේ,

වැළැක්වීමේ පියවර,අවදානම් සහ හදිසි අවස්ථා සඳහා සූදානම් වීම,දැනුවත් කිරීම,ප්‍රජා කේන්ද්රීය ආරක්ෂක පද්ධති සහප්‍රතිෂ්ඨාපනය සහ අලුත්වැඩියා කිරීම සඳහා ක්රම.

අපි මෙම සැලසුම් කිරීම කළ යුත්තේ කවදාද?

අපේ උරුමයන් ආරක්ෂා කර ගැනීමට සැලසුම් සකස් කළ යුත්තේ කවදාද? එය යුද්ධයක් අතරතුර සිදු කළ හැකිද? නැත.
ඒ නිසා සාමය පවතින කාලවලදී සූදානම් වීම කළ යුතු අතර ශ්‍රී ලංකාවේ නම් එය කිරීමට හොඳම කාලය මේ ගෙවී යන කාලයයි.

නවීන සංවර්ධන ව්‍යාපෘති නිසා අපේ උරුමයන් තර්ජනවලට මුහුණ දෙමින් පවතින්නේ අපි කිසිවිටෙකත් ඒ සඳහා සූදානම් නොවූ නිසාය. සංවර්ධනය නැවතිය හැකි ක්‍රියාවලියක් නොවන අතර, සංවර්ධන ක්‍රියා හමුවේ උරුමය ආරක්ෂා කිරීමට අපි සූදානම් විය යුතුයි.

යුද්ධ සහ ගැටුම් නොවැළැක්විය හැකි අතර එවැනි අවාසනාවන්ත කාලයක් කිසිදා නොපැමිණෙන බවට අපට සහතික විය නොහැක; නුදුරු අනාගතයේ දී නොව, ඉදිරි වසරවලදී හෝ එය සිදු වනු ඇත. මේ අනුව පෙර සූදානම අවම හානියක් කරනු ඇත. මෙම සූදානම සහ සැලසුම් කිරීම සිදු කළ යුත්තේ ඉදිරි වසර දෙක තුන සඳහා පමණක් නොව ඉදිරි වසර 10 හෝ 20 සඳහා වූ තිරසාර සූදානමක් ලෙසටය.

මෙම ක්‍රියාවලියට බොහෝ පාර්ශවකරුවන් සම්බන්ධ වේ. පූජ්‍ය පක්ෂය ඇතුළු රටේ අධ්‍යාපනය සහ මාධ්‍ය ඔවුන්ගේ කාර්යභාරය ඉටු කළ යුතු අතර උරුම වෘත්තිකයන් ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කිරීමට කටයුතු කළ යුතුය.

අපි වඩාත් අවදානමට ලක්විය හැකි ස්ථාන සහ ස්මාරක මොනවාද යන්න විශ්ලේෂණය කළ යුතු අතර, ස්ථාන සහ ස්මාරක ලේඛනගත කළ යුතුය. ලෝකයේ උදාහරණ සහ ප්‍රවණතාවයන් විශ්ලේෂණය කර ඒවායින් පාඩම් ඉගෙන ගැනීම ද වැදගත් ය.

මෙම ක්‍රියාවලියේදී ලේඛනගත කිරීම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එවැනි දත්ත සමුදායක් තිබීම අප සතුව ඇති උරුමය මෙයයි කියා පෙන්වීමට සාක්ෂියකි. මෙය මෙවලමකි. මෙම මෙවලම ප්‍රතිපත්ති සහ නෛතික රාමු සැකසීමට සහ අරමුදල් රැස් කිරීමට භාවිතා කළ හැක.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් අපි ඉගෙන ගත්තේ මොනවාද? එම අඳුරු භයානක සිදුවීමෙන් අප පාඩම් ඉගෙන ගෙන තිබේද? අප මෙම තත්ත්වය විශ්ලේෂණය කර තිබේද?
අපගේ උරුමය ආරක්ෂා කිරීමට අනාගත සැලසුම් සකස් කිරීමේදී අතීත සිදුවීම් විශ්ලේෂණ කිරීමත් සහ ශ්‍රී දළඳා මාළිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සක්‍රියව දායක වූ උරුම කළමනාකරණය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් උපදෙස්ද ලබා ගැනීම වටිනේය. මන්ද එවන් අවාසනාවන්ත සිදුවීම් නැවත සිදු නොවනු ඇතැයි අපට විශ්වාසයෙන් කිව නොහැකි නිසාය.

සාමය සහ සංහිඳියාව ගොඩනැගීමේදී උරුමයේ කාර්යභාරය

සාමය ගොඩනැගීමේ ප්‍රබල ආධාරක අතර උරුමය ඉදිරියෙන්ම සිටියි. ත්‍රස්තවාදයෙන් සහ ජාතිවාදයෙන් බරපතළ තුවාල ලැබූ අප වැනි රටක සාමය ගොඩනැගීමේ කාර්යයට උරුමයන් වඩාත් ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතුය. ලෝකයේ සමහර රටවල මෙය ප්‍රායෝගිකව සිදු කර ඇත. මේ සඳහා ප්‍රජා කේන්ද්‍රීය ප්‍රවේශයක අවශ්‍යතාවය ගැන සැලකිලිමත් යුතුය.

Uncategorized, Ama H.Vanniarachchy, Sri Lanka war, Sri Lankan archaeology, United Nations Human Rights Commissioner Sri Lanka 

Add a Comment

Your email address will not be published.

Quick booking process

Talk to an expert