ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර අපේ උරුමය – 2 කොටස.
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර අපේ උරුමය – 2 කොටස.
යාපනයේ දඹකොළ පටුන විහාරස්ථානය.
අමා එච් වන්නිආරච්චි විසිනි.
(අගෝස්තු 19 වැනි දින, Ceylon Today පුවත්පතේ, අමා එච්. වන්නිආරච්චි විසින් රචිත Heritage in Peril යනුවෙන් පළ වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.)
නූතන උතුරු පළාත දිස්ත්‍රික්ක පහකින් සමන්විත වේ; යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව. වර්තමාන උතුරු පළාතම පාහේ ඓතිහාසික යුගයේදී පුරාණ උත්තර පස්ස හෝ පුරාණ උතුරු ප්‍රදේශය වී ඇති අතර වර්තමාන නැගෙනහිර පළාතෙන් වැඩි කොටසක් පැරණි රුහුණු රටට අයත් විය.
යාපනයේ ප්‍රාග් ඉතිහාසය…
පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් යාපනයේ මායක්කායි ප්‍රදේශයෙන් වසර 600,000 කට පමණ පෙර හෝමෝ ඉරෙක්ටස් විසින් භාවිතා කරන ලද ගල් ආයුධ සොයා ගන්නා ලදී. වැඩිදුර පර්යේෂණ මගින් ප්‍රදේශයේ මුල් යකඩ යුගයේ ජනාවාස පිළිබඳ තවත් සාක්ෂි අනාවරණය විය. යාපනය ප්‍රදේශයෙන් සොයාගත් සුසාන භූමි ශ්‍රී ලංකාවේ අනෙක් පළාත් වලින් සොයා ගත් මෙගලිතික සුසාන භූමිවලට සමාන ලක්ෂණ පෙන්නුම් කරයි. ඒ අනුව, ප්‍රාග් ඓතිහාසික යුගයේ යාපනය ප්‍රදේශයේ සිටියේද ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල සිටි ආකාරයේම ජන කොටසක් බවට පැහැදිලිය.
ශ්‍රී ලංකාවේ පැරණිතම මානව ජනාවාසයේ ඉතිහාසය වර්තමානයට වසර 125,000කට පෙර සිට දිව යයි.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ශිලා යුගය වන බලංගොඩ සංස්කෘතිය හෝටන් තැන්න, පුනරින් (දිවයිනේ උතුරු කොටස) සහ මාන්කුලම්, මිනිහාගල් කන්ද යන ප්‍රදේශවල ව්‍යාප්ත විය. ක්‍රි.පූ. 28,000 සිට ක්‍රි.පූ. 9500 දක්වා කාල නිර්ණය කරන ලද ක්ෂුද්‍ර ශිලා යුගයේ නටබුන් මෙම ස්ථානවලින් හමු වේ.
මෙගලිතික සංස්කෘතියක් (ක්‍රි.පූ. 800- ක්‍රි.පූ. 100) දිවයින පුරා පාහේ ව්‍යාප්ත ව පැවති බවටද පුරාවිද්‍යා සාධක ලැබේ. එවන් සමහර ස්ථාන වන්නේ පොම්පරිප්පුව, ගුරුගල්හින්න, කතිර වැලි, පදියගම්පොල සහ වලවේ ගං ඉවුර ය.
ඓතිහාසික කාලවලදී යාපනය…
යාපනය කරළියට එන්නේ දේවානම්පියතිස්ස රජුගේ කාලයේය. අර්හත් සංඝමිත්තා තෙරණින්වහන්සේ සහ පූජනීය බෝ අංකුරය එවකට ජම්බුකෝළ පට්ටන හෝ දඹකොළ පටුන නම් වූ පුරාණ වරායට වැඩම කළහ.
ශිලා ලේඛන හා වංශකතාවලට අනුව, රටේ උතුරු ප්‍රදේශය හැඳින්වූයේ උත්තර පස්ස හෝ උත්තර දේශය යනුවෙනි.
මෙම උත්තර පස්ස හෙවත් යාපනය අර්ධද්වීපයම පාහේ ඓතිහාසික යුගයේදී නාගදීපය ලෙස හැදින්විය. 1936 දී වල්ලිපුරම් රන් සන්නස සොයා ගැනීමත් සමඟ අර්ධද්වීපයේ සහ උතුරු පරිපාලන ප්‍රදේශයේ පැරණි නාමය නකදිව ලෙස හෙළි විය. මෙය ලියා ඇත්තේ වසභ රජුගේ (ක්‍රි.ව. 65 – 109) කාලයේදීය.
යාපා පටුන යන යෙදුමේ තවත් කතාවක් තිබේ. ජාවක චන්ද්‍රබානු සහ ඔහුගෙන් පැවත එන ජාවකයන් යාපනයේ සිටි නිසා එම ස්ථානයට ජාවකපට්ටනම යන නම ලැබුණු අතර එය පසුව යවකපට්ටනම බවට පත් වූ බව විශ්වාස කෙරේ. 15 වැනි සියවසේ සංදේශ කාව්‍යවල මෙම ප්‍රදේශය යාපා පටුන ලෙස දක්වා ඇත. පෘතුගීසි සහ ලන්දේසි ලේඛනවල ජැෆ්නාපට්ටන යන යෙදුම භාවිතා වේ.
13 වන සියවසෙන් පසුව, යාපනය…
13 වන සියවස දක්වා යාපනය අනුරාධපුරයේ සහ පසුව පොළොන්නරුවේ සිංහල රජුගේ පාලනයට යටත් විය. කාලිංග මාඝගෙන් පසු (13 වැනි සියවස) සිංහල රාජධානිය රටේ නිරිත දෙසට ගමන් කළේය. දකුණු ඉන්දියාවේ සහ අග්නි දිග ආසියාතික රාජධානිවල බලය වැඩීමත් සමඟ කලාපයේ ඇති වූ දේශපාලන බල අරගල ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට සහ ස්ථාවරත්වයට තර්ජනයක් එල්ල විය.
චන්ද්‍රබානු නමින් හැඳින්වෙන ජාවක පිය-පුතු දෙපළ යාපනය ආක්‍රමණය කළේ 13 වැනි සියවසේදීය. ඉන් පසු 17 වැනි සියවස දක්වා වරින් වර ආර්යචක්‍රවර්තීන් නමින් හැඳින්වූ රජවරු සිටි බවටත් සඳහන් වේ (මේ අර්යචක්රවර්තින් පෙළපත ගැන අපි ඉදිරියට වැඩිදුර කරුණු ඉදිරිපත් කරන්නෙමු). කෝට්ටේ හයවන පරාක්‍රමබාහුගේ රජුගේ කාලයේ (1412 – 1467) යාපනය ප්‍රදේශය කෝට්ටේ රාජධානියට යටත් වූ අතර ශ්‍රී ලංකාව නැවත වරක් එක් පාලනයකට යටත් විය.
ඉන්දු ආර්යයන්ට පෙර ලංකාවේ ජීවත් වූයේ කවුද?
ඉතිහාසය දෙස ජාතිවාදී දෘෂ්ටිකෝණයකින් බලන අය, විශේෂයෙන් දෙමළ ජාතිවාදී උගතුන්, ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය හෝ ඉන්දු-ආර්ය සංක්‍රමණවලට පෙර යුගය විකෘති කිරීමට උත්සාහ කරති. එක් විකෘතියක් නම් යක්ක සහ නාග ගෝත්‍රිකයන් දෙමළ ජනවර්ගවලට අයත් වූවන් බව පැවසීමයි (හාස්‍යයට කරුණ නම්, එම කාලයේදී දෙමළ යනුවෙන් භාෂාවක් ලෝකයේ කොහෙවත් බිහි වී නොමැති වීමයි. දෙමළ ජනතාව යනු දෙමළ බස කතා කරන පිරිස විය යුතුය).
තවත් විකෘතියක් නම් ප්‍රාග් ඓතිහාසික යුගයේ ‘ද්‍රවිඩ’ ජනතාව දිවයිනේ වාසය කළ අතර ඉන් පසුව සිංහලයන් පැමිණි බවයි. විග්නේශ්වරන් වැනි ඇතැම් ජාතිවාදී දේශපාලනඥයන් දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 247 – 207) තේවානම්පියතීසන් නම් දෙමළ රජෙකු බව ප්‍රකාශ කිරීමට පවා ඉදිරිපත් වී ඇත.
ලේඛකයාට ලැබෙන බොහෝ ප්‍රතිචාර අතුරෙන් ඇතැම් ජාතිවාදීන් කියා සිටින්නේ කාශ්‍යප (ක්‍රි.ව. 473 සිට 495 දක්වා) වැනි රජවරුන් පවා කාසියප්පන් නම් දෙමළ රජෙකු බවත් මුලතිව් කුරුන්දි විහරහ මුලින් කෝවිලක් වූ බවත් පසුව බෞද්ධ භික්ෂූන් විසින් ආක්‍රමණය කළ බවත්ය. එසේම, උතුරු නැගෙනහිර විශේෂයෙන් කුරුන්දි විහාරය වැනි ස්ථාන පැරණි ස්ථාන වල වූ කෝවිල් අන්තවාදී භික්ෂුන් විසින් කඩා අලුතෙන් පන්සල් ඉදි කරන බවත්, උතුරු නැගෙනහිර සිංහලකරණයට ලක් කරන බවත් මේ ජාතිවාදී පිරිස් අපිට චෝදනා කරති.
මේවා අභූත ප්‍රකාශයන්ය.
මේ ප්‍රකාශවලට පිළිතුරු දීම කාලය කා දැමීමක් දැයි විටෙක ලේඛකයාට සිතේ. නමුත් මෙම ප්‍රකාශයන් රටේ ඉතිහාසය විකෘති කරන අතරම, උතුරු – නැඟෙනහිර වෙනම දෙමළ රාජ්‍යයක් ඉල්ලා සිටින ඊළාම් මිත්‍යාවට සම්බන්ධ කරන නිසාත්, සිංහල හා දෙමළ ජනතාව අතර සමයේ සහ සහෝදරත්වයේ පාලම් ගිනිබත් කරන නිසාත්, මේ විකෘති කතා ශාස්‌ත්‍රීය ලෙස ආමන්ත්‍රණය කළ යුතුය. එසේම මෙම ප්‍රබන්ධ කථා සහ මිථ්‍යාවන් වැඩිපුරම පළවන්නේ ඉංග්‍රීසියෙන් බැවින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ විකෘති චිත්‍රයක් ජාත්‍යන්තරය තුළ ඇඳෙමින් තිබේ.
යක්ක, නාග වැනි ගෝත්‍ර, කිසියම් ජනවර්ගයකට හෝ ජාතියකට අයත් යැයි පැවසීම පදනම් විරහිත ය. බොහෝ දුරට පිළිගත හැකි පරිදි ඔවුන් අනාර්ය ගෝත්‍රය. ඒ ආර්යයන් පැමිණෙන්නට පෙර සිටි බවට සඳහන් වෙන පිරිස් ය. මෙහිදී සිහිතබා ගත යුතු වැදගත්ම දෙය නම්, අනාර්ය යැයි කි විට එයින් කිසිසේත්ම ද්‍රවිඩ ජන වර්ග (dravidians) අදහස් නොවන බවයි. ලංකාවේ සහ ඉන්දියාවේ ආර්ය, අනාර්ය සහ ද්‍රවිඩ යන වර්ග තුනට අයත් ජනවර්ග ගැන ඉතිහාසය හදාරන විට කතා කරන්නෙමු.
එසේ කීමට එක් හේතුවක් නම්, මෙම කාලය තුළ, එනම් ක්‍රි.පූ. 6 වැනි සියවසට පෙර දිවයිනේ ජනතාව ජාතියක් වශයෙන් සංවිධානය වූ බව පැවසීම අපහසුය. ඉතිහාස වාර්තාවලට අනුව ඔවුන් ගෝත්‍ර විය. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරන විට යක්ක, නාග වැනි ගෝත්‍ර ජීවත්ව සිට ඇත. ජාතියක් ලෙස සංවිධානය වූ මිනිසුන් නොවේ.
ගෝත්‍ර සහ ජනවාර්ගික කණ්ඩායම්, ජාතින් යන හැදින්වීම් අතර වෙනස්කම් තිබේ.
වංශකතාවලට අනුව සිංහල යනුවෙන් ජාතියක නැගීම සහ සංවිධානය වීම ගැන සඳහන් වන්නේ ක්‍රිස්තු පූර්ව 6/5 වැනි සියවසේදී පමණය.
මෙම ගෝත්‍රිකයන් සහ ඔවුන්ට පෙර ජීවත් වූ බලංගොඩ මිනිසා සහ ඔහුගේ පරම්පරාව නිසැකව ම සිංහල ජනයාගේ සහ වැදි ජනයාගේ මුතුන් මිත්තන්ය. නමුත් දෙමළ ජාතිකයන් ඉන්දියාවේ සිට ලංකාවට පදිංචියට පැමිණියේ බොහෝ කලකට පසුවය. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා දෙමළ සම්භවයක් ඇති අයෙකු බව පැවසීම පැහැදිලිවම පදනම් විරහිත ය. ප්‍රාග් ඓතිහාසික යුගයේදී මිනිසුන් ජාතීන් හෝ ජාතිකත්වයන් යටතේ සංවිධානය වී සිටියේ නැත. ඔවුන්ගේ ජීවිතයේ අවශ්‍යතා සහ අරමුණු වෙනස් විය. ඇරත්, මේ කාලයේ දෙමළ කියා භාෂාවක් ද තිබුණු බවට කිසිම සාධකයක් නැත.
ප්‍රාග් ඓතිහාසික මානවයා හෝ බලංගොඩ මානවයා සිංහලයන් යැයි යමෙක් පවසන්නේ නම්, එයද පදනම් විරහිතය. එයට හේතුව මිනිසා සංස්කෘතික වශයෙන් පරිණාමය වූ විට ජාතිය, ජාතිකත්වය, වංශ ආදී සංකල්ප ක්‍රමයෙන් වර්ධනය වන බැවිනි.
එසේම දේවානම්පියතිස්ස දෙමළ රජකු බව කියමින් ඔහුගේ නම තේවානම්පියතීසන් ලෙස විකෘති කිරීම විහිළුවකි. එය පැහැදිලිවම ඓතිහාසික මූලාශ්‍ර නොසලකා හැරීමකි. දේවානම්පිය (දෙවියන්ට ප්‍රිය වූ) යනු මෞර්ය අධිරාජ්‍යයා වූ අශෝකයන් විසින් භාවිතා කරන ලද ගෞරව නාමයක් වන අතර පසුව එය සිංහල රජු වූ තිස්ස විසින්ද භාවිතා කරන ලදී. ඔවුන් හොඳ මිතුරන් වූ අතර දෙරට අතර ශක්තිමත් දේශපාලන හා ආගමික බැඳීම් ඇති කර ගත්හ. මෙම නම අනුරාධපුරයේ බොහෝ සිංහල රජවරුන් විසින් භාවිතා කරන ලදී. ඉන්දියානු සහ ශ්‍රී ලංකා ශිලා ලිපි සහ වංශකතාවල පැහැදිලිව දේවානම්පිය යන නම සඳහන් වේ. ඔහුගේ නම තේවානම්පියතීසන් යැයි කීමට සාක්ෂි නැත. එපමණක් නොව, ක්‍රි.පූ. 3 වැනි සියවසේදී අනුරාධපුරයේ දෙමළ රජෙකු බිහිවීමක් දක්නට නොලැබුණි. අනුරාධපුරයේ තබා භාරතයේද දෙමළ රාජධානියක් ක්‍රි.පු.3 වැනි සියවසේ තිබුණු බවට සාධක නැත. මෞර්ය අධිරාජ්‍යයා වූ අශෝකයන්ගේ සෙල්ලිපි විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය බිඳ දැමීමට ඇතිප්‍රබලම සාක්ෂියකි.
ඉන්දු-ආර්යයන්ගේ ආගමනය සහ දිවයිනේ සිංහල ජාතිය බිහි වීම…
ඉන්දු – ආර්යයන් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පිහිටි මාතොට (මන්නාරම), දඹකොළ පටුන (යාපනය) සහ ගෝකන්න (ත්‍රිකුණාමලය) වැනි වරායන් වෙත පැමිණි බව වංශකතාවල සඳහන් වේ. මෙම ඉන්දු-ආර්යයන් උතුරු තැනිතලාවේ පදිංචි වූ අතර පසුව රුහුණ ලෙස හැඳින්වූ නූතන නැගෙනහිර පළාතට ද සංක්‍රමණය විය. මෙම මුල් ජනාවාස සමෘද්ධිමත් වූ අතර මෙම දූපතේ තවමත් පවතින ශිෂ්ටාචාරයක අඩිතාලම මෙම උතුරු – නැගෙනහිර කලාපයේදී ස්ථාපිත විය.
මෙම ජනාවාසවලින් මුල්ම ජනාවාස වූයේ මල්වතු ඔය ඉවුරේ පිහිටි අනුරාධ ග්‍රාමය වන අතර එය පසුව අනුරාධපුරය දක්වා වර්ධනය විය.
අපට වඩා පැරැණි සහ ශ්‍රේෂ්ඨ පුරාණ ශිෂ්ටාචාර බොහොමයක් අතීතයේදී බලවත් ලෙස සංවර්ධනය වී, කාලයත් සමඟ කෙමෙන් බිඳ වැටෙද්දී, එවන් බොහෝ පෞරාණික විශිෂ්ට ශිෂ්ටාචාර සම්පූර්ණයෙන්ම අමතක වී ගොස් ඇතත්, උතුරු හා නැගෙනහිර පළාත්වල ආරම්භ වූ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය කාලයාගේ ඇවෑමෙන් බොහෝ කාලයක් පුරාවට නොනැසී පැවතිණි. එම ශිෂ්ටාචාරය ශතවර්ෂ 25 ක් ගත ව ඇතත් තවමත් හුස්ම ගනිමින් සිටියි. කලින් කලට නැඟී එන විදේශ බලවේග හා ආක්‍රමණ හමුවේ අපේ ශිෂ්ටාචාරය ක්‍රමයෙන් හැකිලෙමින්, යළිත් පණ ලබමින්, ක්‍රිස්තු වර්ෂ 13 වැනි සියවසේ සිට දිවයිනේ බටහිර හා දකුණු ප්‍රදේශ දෙසට ගමන් කළේය. ක්‍රි.ව. 16 සියවසේදී යුරෝපීය බල ලෝභී ජාතීන්ගේ ආක්‍රමණ සහ ආර්ථික සූරාකෑම්වල නැගීම නිසා මේ ශිෂ්ටාචාරය බොහෝ අවුල් සහගත තත්ත්වයන්ට මුහුණුදෙනු දැකගත හැකි විය.
යාපනයේ අතීතය සොයා…
අපි මුලින්ම යාපනය දිස්ත්‍රික්කයේ, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව සහ මන්නාරම යන ස්ථානවලට යන්නෙමු. ඉන් පසුව අපි ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට යන්නෙමු.
අපගේ ප්‍රථම සංචාරය වන්නේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝ අංකුරය රැගෙන වැඩම කළ ස්ථානයටයි.
දඹකොළ පටුන විහාරය…
ජම්බුකොල විහාරය යනු දේවානම්පියතිස්ස රජු විසින්, සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ විසින් පූජනීය බෝ අංකුරය වැඩමවීම සිහිපත් කිරීම සඳහා කරවන ලද විහාරයයි. අද මේ පැරණි විහාරයේ නටබුන් ඒ ආකාරයෙන් දක්නට නැත.
මහාවංශය, දීපවංශය සහ වංසත්තප්පකාසිනිය වැනි ඓතිහාසික මූලාශ්‍රවලට අනුව උන්වහන්සේ යාපනයේ දඹකොළපටුන හෝ ජම්බුකෝළ පට්ටන වරායට වැඩම කොට ඇත. අපගේ පාඨකයන්ගෙන් අපි තාර්කික ප්‍රශ්නයක් ඇසීමට අපි කැමැත්තෙමු. මේ කාලය වන විට මෙම ප්‍රදේශය අනුරාධපුරයේ රජුට යටත් නොවී, වෙනත් ස්වාධින රාජධානියක රජෙකුගේ පාලනයට යටත්ව තිබුණේ නම් මෙවන්නක් සිදුවේද? ඇය එවකට කලාපයේ බලවත්ම අධිරාජ්‍යයා වූ මෞර්ය අධිරාජ්‍යයාගේ දියණියයි. අශෝක සෙල්ලිපි හොඳින් අධ්‍යයනය කරන්නේ නම් ඔහු දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ රාජධානියකට ධර්ම ධූත පිරිසක් යවා නැති බවත්, එම සෙල්ලිපි වල ලංකාවේ දෙමළ රජකු ගැන සඳහන් කර නැති බවත් පැහැදිලිය. දකුණු ඉන්දියාවේ බලවත් දෙමළ රාජධානියක් එවකට තිබුණේ නම්, මෞර්ය අධිරාජ්‍යයා ඔවුන් කෙරෙහි අවධානය යොමු නොකර සිටියි ද?
මේ කාලය (ක්‍රි.පූ.3) වන විට යාපන අර්ධද්වීපය වෙනම රාජධානියක් වූයේ නම්, දේවානම්පියතිස්ස රජු නිදහසේ මෙම වරායට පැමිණ, අනුරාධපුරය හරහා යාපනයට පැමිණෙන සංඝමිත්තා තෙරණින්ගේ පැමිණීම පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කරයිද?
පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ තම ‘නැගෙනහිර පලාත හා උතුරු පලාතේ සිංහල බෞද්ධ උරුමය’ නම් ග්‍රන්ථයේ අනුරාධපුර රාජධානි සමයේ යාපනයේ ප්‍රධාන වරාය වූයේ දඹකොළ පටුන බවත් අද එය සම්බිලිතුරෙයි ලෙස දෙමළ නමකින් හඳුන්වන ඇති බවත් ලියා ඇත. දේවානම්පියතිස්ස රජු මෙහි බොහෝ ඉදිකිරීම් කර ඇති බව ඔහු වැඩිදුරටත් ලියයි. දඹකොළ පටුනෙහි ද පූජනීය බෝ ගසක් (බෝ පැළ අටෙන් එකක්) සිටුවනු ලැබුවද පසුව එය විනාශ විය.
ජම්බුකෝල විහාරය මහා විජයබාහු රජු (1055-1110) විසින් ප්‍රතිසංස්කරණය කරන ලද්දක් බවද ඔහු කියයි. සමන්තපාසාදිකාවට අනුව ග්‍රීක වන්දනාකරුවන් (යෝනක ජනයා) ජම්බුකෝල විහාරයට පැමිණ ඇත.
අනුරාධපුරයේ දේවානම්පියතිස්ස රජු, දඹකොළ පටුන වරාය වෙනත් රාජ්‍යයක පැවතියේ නම්, එහි බෝ පැළයක් සිටුවීමට තෝරා ගන්නේ ගැටුමකට ඉඩ ප්‍රස්ථාව ඇති නොකර ගනිමින්ද? ඓතිහාසික මූලාශ්‍රවල එවැනි ගැටුමක් වාර්තා වන්නේ නැත.
මෞර්ය අධිරාජ්‍යයා හමුවීමට ඉන්දියාවට යාමට අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹකොළ පටුනෙන් නැවකට ගොඩ වූ බවද වංශකතාවල සටහන් වේ. ඔහු අධිරාජ්‍යයා හමුවීමෙන් පසු යළිත් එම වරායටම පැමිණියේය. මේ සියල්ලෙන් සනාථ වන්නේ දඹකොළ පටුන පැහැදිලිවම අනුරාධපුර රජුගේ පාලනයට යටත්ව තිබූ බවයි.
පූජනීය බෝ අංකුරය පිළිගැනීමට රජු විසින් අනුරාධපුර සිට යාපනය දක්වා වූ මාර්ගය සහ වරාය අලංකාර ලෙස සරසා, සකස් කළ බව මහාවංශය කියයි. රජු සහ විශාල පිරිසක් නැව එනතුරු වරායයේ සිටියහ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, පුරාවිද්‍යාඥ සිරිසමන් විජේතුංග මහතා ‘වල්ලිපුරම් රන්සන්නස සහ හෙළ උරුමය’ යන පොතේ සඳහන් කරන්නේ, සිරිපතුල් ගලක් මෙම ස්ථානයෙන් හමුවී ඇති බවයි. (බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීමට සියවස් ගණනාවකට පෙර බුදුන් වහන්සේගේ පා සටහන් බුදුන්ගේ සංකේතයක් ලෙස වන්දනාමාන කරන ලදී).
කාලයාගේ ඇවෑමෙන්, සිංහල බලය ක්‍රමක්‍රමයෙන් නිරිත දෙසට මාරු වීමත් සමඟ විහාරය නටබුන් වූ අතර, වරායද ක්‍රමයෙන් වැදගත් භාවයෙන් වියැකී ගියේය.
එල්.ටී.ටී.ඊ. යුද්ධය පැවති සමයේ මෙම විහාරස්ථානය තවදුරටත් නොසලකා හැරීමට ලක් විය.
පශ්චාත් යුධ සමයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විහාරස්ථාන පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී. අද දක්නට ලැබෙන කුඩා සුදු ස්තූපය දින 65 ක් තුළ ඉදිකරන ලද්දක් බවට වාර්තා වේ. අද තිබෙන බෝධීන් වහන්සේ ඉපැරණි එකක් නොව 1998 දී නාවික හමුදාව විසින් රෝපණය කරන ලද බෝධියකි.
මතු සම්බන්ධයි…
මුල් ඉංග්‍රීසි ලිපිය කියවීම සඳහා පිවිසෙන්න
Uncategorized, Eelam, Jaffna, Sri Lanka North and East, Sri Lankan archaeology, SRI LANKAN HISTORY, Tamil Homeland
All Categories
- Adventure
- Ama Vanniarachchy
- Ancient Technology
- Archaeological Books and Reviews
- Archaeological Survey
- Archaeologists
- Archaeology
- Bibliography
- Big Smile Voyages
- Chryshane Mendis
- City Tours
- Colonial Heritage
- Epigraphy
- Event
- Excavation
- Exploration
- Field Archaeology
- Historian
- Historical Places
- Historical Sri Lankan Maps
- Honeymoon
- Inscriptions
- Interviews
- Life Style
- Maritime Archaeology
- News
- Prehistory
- Sri Lanka Archaeological History
- Uncategorized
- Wild Camping