Warning: Array to string conversion in /home/ruraxpob/bigsmilevoyages.com/wp-content/plugins/elementor/includes/utils.php on line 506
preloader-type="icon" preloader-icon="Array svg" class="e-page-transition--entering" exclude="^https\:\/\/bigsmilevoyages\.com\/wp\-admin\/">

ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයේ ටැක්සිඩර්මි අංශය (මිය ගිය සතුන් සංරක්ෂණය)

අමා එච් වන්නිආරච්චි විසිනි

“සතෙකුගේ ජීවිතය අපගේ ජීවිතයට වඩා කිසිඳු ආකාරයකින් අඩු නොවන බව තේරුම් ගැනීමට මානව වර්ගයා ඉගෙන ගත යුතුය.” – පෝල් ඔක්ස්ටන් –

පසුගිය (2020) මැයි මාසයේදී අපට වාර්තා වූ එක් අවාසනාවන්ත සිදුවීමක් වූයේ හැටන්, නල්ලතන්නිය ප්‍රදේශයේදී ජනවාරි මාසයේදී දැකගත හැකි වූ දුර්ලභ සහ සුවිශේෂී කළු දිවියා දඩයම්කරුවන්ගේ උගුලකට හසුවීමේ පුවතයි. ජිවත් වීමේ භාග්‍ය අහිමි වූ ඔහුගේ සිරුර, අවසානයේ සංරක්ෂණය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ටැක්සිඩර්මි ඒකකයට භාර දෙන ලදී. කෙසේ වෙතත්, අලුතින් පත් වූ අමාත්‍යවරයා එම ඒකකයට පැමිණි අවස්ථාවේදී ලබාගත් අඩක් වැඩ නිමවූ කළු දිවියාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල ප්‍රචලිත වූ අතර අවිචාරමත් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් එම ඡායාරූපය උපහාසයට ලක් කරමින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට දොස් පවරන මට්ටමට පත්විය.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා, සිලෝන් ටුඩේ අපි මෙම අන්දෝලනාත්මක සමාජ මාධ්‍ය පුවතේ සත්‍ය දැන ගැනීම සඳහා කොළඹ ජාතික කෞතුකාගාරය වෙත ගියෙමු. අපි මුලින්ම හමුවුණේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මියයි.

කළු දිවියාගේ වැඩ තවමත් නිම කර නොමැත.

“අපිට කළු කොටියාගේ මළසිරුර ලැබුණේ මේ වසරේ ජූලි මාසයේදීය. ටැක්සිඩර්මි යනු බොහෝ කාලයක් ගතවන ක්‍රියාවලියක් වන අතර එය වෙහෙසකර කාර්යයකි. මේ වන විට මෙහි නිම කර ඇත්තේ තියෙන්නේ සියයට 70ක් පමණය. මේ කාලය අතරතුර දිනෙක අලුතින් පත් වූ වනජීවී අමාත්‍යවරයා කෞතුකාගාරයට පැමිණයේ එම කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කරන්නටය. ඒ අවස්ථාවේදී කවුරුහරි මේ පින්තූරය ගන්න ඇති. ඡායාරූපය අනිසි ලෙස භාවිතා කිරීම දැකීම කණගාටුවට කරුණක් වන අතර එය සමාජ මාධ්‍යවල ප්‍රචාරණය කිරීම සදාචාරාත්මක නොවේ. ඕනෑම කලා කෘතියක් නිම කිරීමට පෙර ඡායාරූප ගෙන පළ නොකළ යුතු බව අපි කවුරුත් දනිමු” යැයි කස්තුරිආරච්චි මහත්මිය පැවසීය.

අධ්‍යක්ෂ ජනරාල්වරිය ටැක්සිඩර්මි ක්‍රියාවලිය ගැන තවදුරටත් පැහැදිලි කළාය. “මිය ගිය සතෙකු පිරවීම සහ සංරක්ෂණය කිරීම පහසු ක්‍රියාවලියක් නොවේ. එහිදී විශාල වැඩ කොටසක් කළ යුතුව ඇත. ශරීරයේ මස් ඉවත් කර ඇටසැකිල්ල ඉවත් කර, ඉන්පසුව සම ආරක්ෂා කර ගැනීම පහසු කාර්යයක් නොවේ. ඒත් මෙම කාර්යය නිම කරන්න කලින් ඡායාරුප ගෙන, ඒවා ප්‍රචාරය කර, සමාජ මාධ්‍යවල උපහාසයෙන් පොස්ට් හදමින් දැමීම ඔස්සේ රාජ්ය ආයතනයක් අපහාසයට ලක් කර ඇත. මෙය ඉතාම නරක ක්‍රියාවලියක්. ඔබ අපගේ අස්ථි විද්‍යා ගැලරිය සහ දළදා මාලිගාවේ රාජා ඇතාගේ කෞතුකාගාරය දෙස බැලුවහොත්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ටැක්සිඩර්මි ඒකකයේ සාර්ථකත්වය ඔබට දැකගත හැකිය. මේවා අපගේ කාර්යයේ හොඳම උදාහරණ වේ.

“ආන්දෝලනාත්මක ඡායාරූපය දෙස බැලුවහොත් කළු දිවියාගේ ටැක්සිඩර්මිය අසම්පූර්ණ බව පැහැදිලිය. සත්‍ය අසත්‍ය බව නොදැන මේවා සමාජ මාධ්‍ය හරහා බෙදා හරින, කමෙන්ට් කරන මේ අයට පිළිතුරු නොදිය යුතු බව මම පෞද්ගලිකව තීරණය කළෙමි. සම්පුර්ණ කරන ලද ටැක්සිඩර්මිය මහජනතාව සඳහා විවෘත කළ පසු එහි අඩුපාඩුවක් ඇත්නම්, එවිට ලැබෙන විවේචන භාර ගැනීමට තරම් අපි නිහතමානී වන්නෙමු. මේ අඅසත්‍ය ප්‍රචාර ගෙන අයට විචාර බුද්ධියක් නැහැ. ඒ නිසා මම ඒ හැමදේටම උත්තර දෙන එක අත්හැරියා.

ටැක්සිඩර්මි කාර්යය සිදුවන තැන.

මේ කාර්යය කෙතරම් සංකීර්ණද යන්න ඇය පැහැදිලි කළාය. “අපි මෙතනට මළසිරුරක් ගෙනාවට පස්සේ, පළමු සති දෙක තුළ ඔබට රසායනාගාරය අසලටවත් යන්න බැහැ. ශරීරයේ මස් සම්පූර්ණයෙන්ම ඉවත් කරන තුරු, දුගඳ දරාගත නොහැකි ය. ඔවුන්ගේ කාර්යය ඉතා වෙහෙසකර වන අතර ඒ සඳහා ඔවුන් අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු විය යුතුය.

ඉන්පසුව අපි සත්ත්වවිද්‍යා අංශයේ ටැක්සිඩර්මි (Taxidermy Unit at the Zoology Division) ඒකකයට ගියෙමු.
සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කෙතරම් අවිචාරවත්ද යන්නත්, ඔවුන් නරඹන්නන් ප්‍රමාණය වැඩි කරගැනීමටත්, ප්‍රසිද්ධිය වෙනුවෙනුත් කොතරම් පහත් දෙයක් වුවද කරන්නේද යන්න ගැන කල්පනා කරමින් නල්ලතන්නියේ කළු කොටියා දැකීමට අපි ගියෙමු.
සත්ත්ව විද්‍යා අංශයට ඇතුළු වන විට විවිධ ප්‍රමාණයේ වන මෘගයන් අප පිළිගත්තේය. අජීවී නමුත් ජීවමාන ලෙස දිස්වෙන, අනාගත පරම්පරාවන්ට දැක ගැනීම උදෙසා සංරක්ෂණය කර ඇති විවිධ සතුන් අතර කුරුල්ලන්, ක්ෂීරපායින්, උරගයින් සහ මත්ස්‍යයන් දැක ගත හැකිය.

ටැක්සිඩර්මි යනු ප්‍රදර්ශනය සහ අධ්‍යයනය කිරීම සඳහා රාමුවක් හෝ පුලුන් මත සවි කිරීම හරහා මියගිය සතෙකුගේ සිරුර සංරක්ෂණය කිරීමේ කලාව සහ විද්‍යාවයි. මෙය මූර්ති, ලී වැඩ, මැහුම්, පින්තාරු කිරීම, වඩු කර්මාන්තය සහ සම් පදම් කිරීම වැනි බොහෝ විෂයයන් වල මිශ්‍රණයකි.
මිය ගිය සත්ත්වයාගේ මතකය, සංරක්ෂණය කිරීමට ලක් කරනු ලබන්නේ මෙවන් සංකීර්ණ කාර්යයකින් පසුවය. මෙය කලාවක් මෙන්ම විද්‍යාවක්ද වේ.
මෙය මියගිය සතාට ගෞරව දැක්වීමේ ක්‍රමයකි.

වැඩේ කෙරෙන ආකාරය සියැසින් දැක බලා ගැනීමේ භාග්‍ය අපට හිමි විය. අපි ඒකකය හරහා ඇවිද යන විට විශේෂඥයින් ඔවුන්ගේ වැඩ කටයුතුවල නිරත වෙමින් සිටියේය. කළු අලස වලසෙකු, සිංහ හිසක්, තිත් දිවියෙකු සහ නාගයෙකුගේ ටැක්සිඩර්මි නිදර්ශක අපගේ අවධානයට ලක් විය. කෞතුකාගාරයේ ටැක්සිඩර්මි ඒකකය සියලු පහසුකම්වලින් සහ විස්මිත දක්ෂ කාර්ය මණ්ඩලයකින් සමන්විත සම්පූර්ණ පර්යේෂණ ඒකකයකි. සත්ව විද්යා අංශයේ සහකාර අධ්‍යක්ෂ ලංකානී සෝමරත්න මහත්මියයි. ටැක්සිඩර්මි ඒකකය හරහා ගොස් ඔස්ටියෝලොජි ගැලරිය වෙත සංචාරය කරමින් සිටියදී සහකාර අධ්‍යක්ෂවරිය එම ඒකකය මුලින්ම ස්ථාපිත කළ ආකාරය ගැන පැහැදිලි කළාය.

කෞතුකාගාරයේ ටැක්සිඩර්මි ඒකකය.

“වර්ෂ 1877 දී ජාතික කෞතුකාගාරය කොළඹ ස්ථාපිත කරන ලද අතර ඒ සමඟ මෙම ඒකකය ද ස්ථාපිත කරන ලදී. අප සතුව ඇති සමහර නිදර්ශක කෞතුකාගාරයටද වඩා පැරණි ය. අපගේ පරමාර්ථය වන්නේ පර්යේෂණ සහ අධ්‍යයනය කටයුතු සඳහා මෙම නිදර්ශක සකස් කර සංරක්ෂණය කිරීමයි. ඒ වගේම අපි ප්‍රදර්ශනය සඳහා නිදර්ශක සූදානම් කරනවා. අප විසින් සකස් කරන ලද නිදර්ශක ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.

“මේ දිවියාගේ (නල්ලතන්නියේ කළු කොටියා) මරණය ගැන දැනගත් පසු අපට අවශ්‍ය වුණා මළකඳ සංරක්ෂණය කරන්න. කෞතුකාගාරය ලෙස අපගේ ඉදිරිදර්ශනය වන්නේ අධ්‍යයනය සහ ප්‍රදර්ශනය සඳහා විශේෂ සංරක්ෂණය කිරීමයි. අපි අපේ එකතුවේ කළු කොටියෙකු ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය වන අතර ගිරිතලේ වනජීවී කෞතුකාගාරයෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවැනි කළු දිවියෙකුගේ නිදර්ශකය වන්නේ මෙයයි. මේ සිද්ධිය දැනගත් පසු මම අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුවත් කළ අතර පසුව අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කළා. පසුව වනජීවී ලේකම්වරයාට දැනුම් දුන්නා. වැඩි කල් නොගොස් වාචික තහවුරු කිරීම ලැබුණේ කළු කොටියාගේ මළකඳ අපට ලබා දෙන බව පවසමිනි. ඊට පස්සේ ජූලි 13 වැනිදා උසාවි නියෝගයක් හරහා අපිට කොටියාගේ මළ සිරුරු ලැබුණා. අපි මුලින්ම තීරණය කළේ සම රැකගන්නයි.”

“මෙයා කළු දිවියෙක්, දුර්ලභ සත්ත්වයෙක්.” සහකාර අධ්‍යක්ෂවරිය අපට ඉදිරියෙන් ඇති ටැක්සිඩර්මිය පෙන්වා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ දිවියා විද්‍යාත්මකව හඳුන්වන්නේ Panthera pardus kotiya හෝ පොදුවේ කොටියා හෝ දිවියා ලෙසයි. ඔවුන්ගේ කහ-තැඹිලි සිරුරේ කළු ලප ඇත. මෙම කළු දිවියා අයත් වන්නේ එම විශේෂයටම වන නමුත් ඔහුගේ මෙලනින් වර්ණක (අධි වර්ණක) හේතුවෙන් කහ-තැඹිලි යට කබාය ආවරණය වන අධික කළු වර්ණයට හේතු වී ඇත. නිවර්තන වැසි වනාන්තර ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ එවැනි පාරිසරික තත්ත්වයන් හොඳින් සැඟවීමට ඔවුන්ට උපකාර වන බැවිනි. මෙම විශේෂය දුර්ලභ හා අද්විතීයයි. ”

“අපේ හොඳම කාර්යය වන්නේ ශ්‍රී දළදා මාලිගාවේ රාජා හස්තියාගේ ටැක්සිඩර්මියයි. අපි තවමත් ඒ ඇතාගේ සංරක්ෂණ කටයුතු කරගෙන යනවා. එසේම අප සතුව ඔස්ටියොලොජිකල් ගැලරියක් ඇත, එහි අපි නිල් තල්මසේකුගේ වසර 125 ක් පැරණි ඇටසැකිල්ල ප්‍රදර්ශනය කර ඇත. මෙම ඇටසැකිල්ල 1910 දී කොළඹට ගෙන එන ලදී. පිඹුරෙකුගේ ඇටසැකිල්ලක් අපට ඇති තවත් හොඳම නිදර්ශකයකි. එය ප්‍රදර්ශනය කර ඇත්තේ එම පිඹුරාගේම සිරුරට යාබදව ය, ”සෝමරත්න මහත්මිය පැවසුවේ අපි ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය හරහා ඇවිද යද්දී ය.

කිඹුලාගේ ටැක්සිඩර්මිය කෙතරම් ප්‍රාණවත්ද සජීවීබවක් ඉසිලුවේදයත්, එය නිසැකවම බොහෝ දරුවන් මවිතයට පත් කිරීමට ඉඩ තිබුණි.
‘Swamp Elephant’ ගේ දැවැන්ත හිස් කබල ඔබ දකින විශාලතම අලි හිස් කබල විය හැකියි. වගුරු අලියා ශ්‍රී ලංකා අලියාගේ උප විශේෂයක් ලෙස සැලකෙන බව සෝමරත්න මහත්මිය පැහැදිලි කළාය.

1991 සිට 2000 දක්වා සධාතුක කරඬුව වැඩම කළ හෙයියන්තුඩුවේ රාජා ඇතාගේ ඇටසැකිල්ල ද මෙහි ප්‍රදර්ශනය කෙරේ. මෙම ඇතාට අඩි 11 ක් දිග විස්මිත දළ යුගලයක් ඇත.

“මේ ලෙච්චමී, සත්වෝද්යානයේ ජීවත් වූ ඇතින්නියක්.” ඇය තවත් අලි ඇටසැකිල්ලක් පෙන්වමින් පැහැදිලි කළාය. “ලෙච්චමි ගැහැණු ඇතෙක්, ඒ කියන්නේ ඇතින්නියක්. ඇයට සම්පූර්ණයෙන් වැඩුණු දළ නොව, ඉතා කෙටි දළ ඇත.”

“අපි ක්‍රම දෙකක් භාවිතා කරමින් නිදර්ශක සංරක්ෂණය කරනවා, එනම්; වියළි ක්‍රමය සහ තෙත් ක්‍රමය. වියළි ක්රමය මූලික වශයෙන් ටැක්සිඩර්මි වන අතර මහජනතාව මෙම නිදර්ශක වෙත ආකර්ෂණය වේ. විශාල ක්ෂීරපායින්, කුරුල්ලන් සහ කිඹුලන් වැනි උරගයින් මේ ආකාරයෙන් සංරක්ෂණය කර ඇත. තෙත් ක්‍රමයේදී සතුන් ෆෝමලින් හෝ මධ්‍යසාර පිරවූ භාජනවල සංරක්ෂණය කෙරේ. ගෙම්බන් වැනි උභය ජීවීන්, වවුලන් සහ මීයන් වැනි කුඩා ක්ෂීරපායින්, මාළු සහ උරගයින් මේ ආකාරයෙන් සංරක්ෂණය කර ඇත. ”සෝමරත්න මහත්මිය පැහැදිලි කළේය.

“සතෙකුගේ හිස් කබල අධ්‍යයනය කිරීමේදී ඉතා වැදගත් වන අතර, අපි හිස් කබල පරෙස්සන්ව තබාගෙන සංරක්ෂණය කරමු. පිරවූ සිරුරට හිස් කබලේ
අනුරුවක් සවි කෙරේ. සත්වයාගේ නිවැරදි මිනුම් ගැනීම ටැක්සිඩර්මි ක්‍රියාවලියේ ඉතා වැදගත් පියවරකි, ”ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.

අපි පිටත් වීමට පෙර තවත් එක් වරක් කළු කොටියා හෙවත් නල්ලතන්නියේ කළු කොටියා වෙත ගියෙමු. තිරිසන් සතෙකු වීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අහිංසක සත්ත්වයාට ගෞරවයක් සහ සාධාරණයක් ඉටු කරන අතරම, කලාත්මක හා විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව මියගිය කළු දිවියාගේ ශරීරයේ අසිරිය ආරක්ෂා කිරීමට ජාතික කෞතුකාගාරයේ ටැක්සිඩර්මි ඒකකය වෙහෙස නොබලා කටයුතු කරයි. විද්‍යාව පිළිබඳ දැනුම සහ කලාත්මක හැකියාව විශිෂ්ට ටැක්සිඩර්මි විශේෂඥයෙකු බවට පත් කරන අතර කොළඹ ජාතික කෞතුකාගාරයේ ටැක්සිඩර්මි ඒකකයට එවැනි ප්‍රවීණයන් බහුලව සිටිති.

(විශේෂ ස්තුතිය කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ ජාතික කෞතුකාගාරය, සත්ව විද්යා දෙපාර්තමේන්තුවේ ටැක්සිඩර්මි ඒකකය/ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය, කොළඹ)

Original article –

https://ceylontoday.lk/news/taxing-task-of-taxidermy

Uncategorized, Ama H.Vanniarachchy, nallathanniye kalu kotiya, Sri Lanka Musuem, Sri Lanka temple elephants, taxidermy 

Add a Comment

Your email address will not be published.

Quick booking process

Talk to an expert